Thursday, December 13, 2018
පැනගිය සිරකරු ඇඳ උඩින් යලි මතු වෙයි..!
ඔන්න හිටි හැටියේ 07 වාට්ටුවේ ඩියුටි කරපු මිතුරා හදිසියේ දුවගෙන ආවාලු 09 වාට්ටුවේ ඩියුටි කරපු මිතුරා හොයාගෙන.
" මංචං...මාර වැඩේනේ.. බං...මගේ ගාව තිබ්බ මාංචුවේ යතුර වැටිලානේ..."
" හැමතැනම ..හොඳට බලපන්...ජොබ් එක ගහලා යන වැඩක්නේ ඕක...යකෝ..."
" ඊයේ රෑ පොඩ්ඩක් බීලාං හිටියේ මං..වෙරි මරගාතේ යතුර කොහේ හරි දාලා ඇති බං...තව ටිකකින් ලෙඩාව ඔපරේෂන් එකට ගෙනියන්න ඕනේ..කකුලට දාලා තියෙන මාංචුව ගලවගන්න යතුරක් නැහැ නේ බං..."
" මල මඟුලයි..යකෝ..ආහ්..මේ මේ මගේ මාංචු යතුරෙන් ගලවගෙන උබේ වැඩේ කරපන්කෝ.."
" එහෙම හරියන්නේ නැහැ බං...උබටත් යතුරක් තියෙන්න ඕනේනේ...යට තට්ටුවේ ඉන්න මගේ ලෙඩාව පොඩ්ඩක් බලාගනින් මම වැලිකඩ හිරගෙදර ඉස්ටෝරුවට ගිහින් මාංචු යතුරක් අරගෙන එන්නම් "
කියා මිතුරා වැලිකඩ බන්ධනාගාරය උපකරණ ගබඩාව වෙත ඉක්මනින් පිය නැඟුවේ හිස ගිනි ගත් අයෙකු ලෙසිනි. කොළඹ ජාතික රෝහලේ සිට පයින් යන දුරකින් වැලිකඩ බන්ධනාගාරය පිහිටා තිබේ. මේ ගමන සඳහා වැඩි කාලයක් ගත නොවෙයි.
වාට්ටුවේ රැඳුනු අනෙක් මිතුරා තම මිතුරා පිටත් වී සුලු වෙලාවකට පසු නිකමට මෙන් තම සගයාගේ වාට්ටුව කරා ගමන් කලේ ඔහුට අයත් සිරකරුවා වාට්ටුවේ සිටිනවාදැයි බැලීමටය.
ඔහුට දකින්නට ලැබුනේ පුදුමය දනවන දසුනකි. ඇඳට යොදා ඇති මාංචුව පමණක් ඉතුරු වී තිබ්බා. සිරකරුවා පැන ගොස් ඇති බවක් දකින්නට ලැබුණා. ඔහු පිලිබඳ වාට්ටුවේ හිටපු අනිත් ලෙඩ්ඩුන්ගෙන් තොරතුරු විමසුවත් සිරකරුවාට සිදු වු දේ ගැන හරි තොරතුරක් හොයාගන්න බැරි වුනා. රෝහලේ හැම අහුමුල්ලක් නෑර හෙව්වා.
ටික වේලාවකට පසු අනෙක් මිතුරා මාංචු යතුරකුත් අරගෙන ආවා. සිදු වු දෙය අනෙක් මිතුරා විසින් අනෙකාට පැවසුවා.
" කොහොමද යකෝ මූ පැනලා ගියේ...මම කකුලට හොඳට හිරවෙන්න මාංචුව දාලානේ ගියේ...මගේ ජොබ් එකත් දැන් ඉවරයි..."
මිතුරන් දෙන්නා එකතුවෙලා පැය තුන හතරක් තිස්සේ පැනලා ගිය හිරකාරයාව බස් හෝල්ට් ගානේ හෙව්වා. හැම අස්සක් මුල්ලක් නෑර හෙව්වා ඒත් හොයාගන්න බැරි වුනා.
" අපි මේ ගැන බන්ධනාගාරයට දැනුම් දෙමු..දැන් වෙන කරන්න දෙයක් නැහැනේ .."
මේ සිරකරුවා පැනයාම සම්බන්ධව බන්ධනාගාරයේ උසස් නිලධාරින්ට දැනුම් දුන්නා.බන්ධනාගාරයේ තරු පටි ගහපු ලොකු මහත්තයෙක් අදාල වාට්ටුවට ආවා මේ සිදුවීම ගැන මූලික විමර්ශනක් කරන්න. මේ උසස් නිලධාරියා වාට්ටුවට ආවාට පස්සේ දකින්නට ලැබුනේ තවත් පුදුම සහගත දසුනකි.
එනම් පැනගිය සිරකරුවා මාංචු යතුරකුත් අතේ එල්ලාගෙන එම ඇඳ උඩට වී සිටීමයි.
" තමුසේ හිරෙන් පැනලා ගියා කියලා අපිට මෙසෙජ් එකක් දුන්නානේ ඩියුටි හිටපු ඔෆිසර්.."
" මම පැනලා ගියේ නැහැ සර්...ගෙදරට ගිහින් ගැහැනියි..ලමයි දෙන්නගේ මුහුණ බලලා.. තව කුඩු පැකට් එකකුත් බීලා ..ආපහු වාට්ටුවට ආවා.. පිලිකාවක් වගේ භයානක ලෙඩක් තියාගෙන සදහටම හැංගිලා ඉඳලා තේරුමක් නැහැනේ සර්..බෙහෙත් ගන්න අනිවාර්යෙන්ම මෙහෙ එන්න ඕනේ නිසා.. මම ආපහු ආවා.."
" තමුසේ කොහොමද එතකොට මේ මාංචුව ගලවා ගත්තේ...කියනවකෝ..."
" මේකයි සර්...ඊයේ රෑ ඩියුටි හිටපු ගාඩ් මහත්තයා..නිදිමර ගාතේ..මාංචු යතුර මගේ ඇඳ ලඟ බිම වට්ටවා ගත්තා. මම ඒක හොරෙන් ඇහිඳගෙන හංඟා ගත්තා..අද උදේ මහත්තයා එහාට මෙහාට යනකම් ඉඳලා..ඒ යතුරෙන්ම මම මේ මාංචුව ගලවාගෙන...මම මිසින් වුනා"
" තමුසෙට විරුද්ධව මේකට ඇක්ෂන් එකක් ගන්නේ නැහැ ....මොකද තමුසේ පැනලා ගියත් ආපහු වාට්ටුවට ආපු නිසා...එහෙම ගත්තොත් මේ ඩියුටි හිටිය ඔෆිසර්ගේ ජොබ් එකත් අපිට ඉන්ටර්ඩික්ට් කරන්න වෙනවා..."
" අනේ..සර්...මහත්තයාගේ ජොබ් එක ඉන්ටර්ඩික්ට් කරන්න එපා..."
" අයිසේ තමුසේලා...මීට වඩා කල්පනාවෙන් මේ රස්සාව කරනවා..."
කියමින් උසස් නිලධාරියා පැනගිය සිරකරුගේ කකුලට යලිත් තද වෙන සේ මාංචු යොදා අනෙක් නිලධාරියාට සිරකරුවාව භාර දී රෝහලෙන් පිටත් වුනා.
මේ ආකාරයට සියල්ල සිදු වු මේ ජවනිකාව දිහා වාට්ටුවේ සිටි ලෙඩ්ඩුන් හා කාර්‍ය මණ්ඩලය එකිනෙකාගේ මුහුණ බලා ගත්තේ බඩ පපුව අල්ලාගෙන සිනාසෙමිනි.
තවත් කතාවකින් යලි හමු වෙමු...!
Saturday, December 8, 2018
දෙවරක් මිය ගිය වධකාගාර ප්‍රධානියා..!
මේ සත්‍ය සිදූවීම් සහිත කතාව අද ඔයාලා වෙනුවෙන් අකුරු කරන්න හිතුනා. මේ සිදූවීමට සම්බන්ධ කතානායකයා 1980 දශකයේ භීෂණ සමයේ ලංකාවේ ප්‍රසිද්ධ වධකාගාරයක මෙහෙයුම් බාරව හිටපු මුස්ලිම් ජාතික හමුදා නිලධාරියෙක්. භීෂණ සමය ගැන ඔයලාට අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ නේ.ඒ කාලේ වෙච්චි සිදුවිම් ගැන. ලංකාව පුරාම ටයර් සෑයවල් දකින්නට ලැබුනු යුගයක්. පැවති රජයට එරෙහිව කැරලි ගහපු අය වගේම අහිංසක මිනිස්සුන්ගේත් ඉරණම විසදුනේ මේ ටයර් සෑයෙනි. සමහර අය තමන්ගේ තරහාකාරයොත් බොරුවට ආරක්ෂක අංශවලට පාවා දුන්නා. පාසල් වයසේ ඉන්නේ අහිංසක තරුණ අයත් මේ ආකාරයට පැහැර ගෙන ගොස් මරා දැමුවා. මේ ආකාරයට සිදු වු පැහැර ගැනීම් වලට නායකත්වය ලබා දුන්නේ මේ හමුදා නිලධාරියා විසිනි. පැවැති රජය පරාජයට පත් වෙලා චන්ද්‍රිකා මැතිනියගේ රජයක් බලයට පත් වුනා.බලයට පත්වු නව රජය විසින් පසුගිය කාලයේ අතුරුදන් වීම් පිලිබඳ හොයන්න ගත්තා.ඔයාටල මතක ඇති සූරියකන්දේ මිනි වලවල් ගොඩ දැම්මා. ඒ වගේම අතුරුදන් වුවන් පිලිබඳ සෙවීමට ජනාධිපති කොමිෂන් සභා පත් කරා. අතුරුදන් කිරීම් හා පැහැර ගැනීම් වලට අදාල ඇසින් දුටු සාක්ෂි තියෙන හමුදා හා පොලිස් නිල්ධාරීන්ට ඒරෙහිව අපරාධමය චෝදනා ගොනු කරා ඒ කාලයේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටි චන්ද්‍රිකා රජය විසින්. අදාල ජනාධිපති කොමිෂන් සභාව විසින් ඉහතින් සඳහන් කල හමුදා නිලධාරියාට එරෙහිව අවුරුදු 18 ක පාසැල් සිසුවෙකු ගම්පහ ප්‍රදේශයේදි තම දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට එරෙහිව චෝදනාවක් ගොනු කලා.
නඩුවක් කියන්නේ හරියට අලු යට තියෙන ගිනි පුපුරක් වගේයි. කොයි මොහොතේ උඩට ඒවිද කියලා කියන්න පුලුවන් කමක් නැහැ. කාලයක් නඩුව නිසා වැඩ තහනමට ලක් වෙලා හිටපු හමුදා නිලධාරියා දේශපාලුවන්ගේ ආනුභාවයෙන් නැවැත රැකියාව පිහිටුවා ගත්තා.අඩු වයසින් හමුදා සේවයට බැඳුනු මේ නිලධාරියා අවුරුදු 22 ක සේවා කාලයෙන් පසු තමුන්ගේ වයස අවුරුදු 45 දි වගේ විශ්‍රාම යාමට තීරණය කරා. මේ හමුදා නිලධාරියාට එරෙහිව පැවැති නඩුවත් අවුරුදු ගාණක් ඇදී ඇදීගොස් ප්‍රමාණවත් සාක්ෂි තිබීම නිසා ගම්පහ මහාධිකරණයට යොමු වුනා අවසාන තීන්දුව ලබා දීම සඳහා. මහාධිකරණයේ දිගහැරෙන අතුරුදන් කිරීමේ චෝදනාවකට අදාල නඩුවකින් වැරදිකරු වුනොත් හිරේ යන්න වෙන බව මේ හමුදා නිලධාරියා දැනගෙන හිටියා. ඔහෝම ඉන්නකොට ඔයාලට මතක ඇති 2004 අවුරුද්ද ලංකාවට සුනාමියක් ඇවිල්ලා මහා විනාශයක් සිදු වුනා. සුනාමිය එනකොට මේ හමුදා නිලධාරියා හිටියේ අම්පාර ප්‍රදේශයේ. එම ප්‍රදේශයට දැඩි හානියක් සිදු වෙලා ජීවිත හා දේපොල බොහොමයක් මුලුමනින්ම විනාශයට පත් වුනා. මේ හමුදා නිලධාරියාත් සුනාමියට හසු ව මිය ගිය බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් පොලිසියට හා සමාජ සේවා දෙපාර්තමේන්තුවට පැමිණිලි කලා. එම පැමිණිලි පිලිබඳව විභාගයක් පවත්වා අදාල ආයතනය විසින් අවසිනයේදි මේ හමුදා නිලධාරියා සුනාමියට හසුව මිය ගිය බවට මරණ සහතිකයක් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නිකුත් කලා. එම පවුලේ සාමාජිකයන් විසින් අදාල මරණ සහතිකය මහාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මඟින් ඉදිරිපත් කරමින් කියා සිටියේ අදාල නඩුවේ විත්තිකරු සුනාමියට හසු ව මිය ගොස් බැවින් අදාල නඩුවෙ කටයුතු අවසන් කරන ලෙසටය. එම ඉල්ලීම පිලිගත් මහාධිකරණය අදාල හමුදා නිලධාරියාට එරෙහිව පැවැති නඩු විභාගයේ කටයුතු අවසන් කලා.ටික කාලයකට පසු හමුදා නිලධාරියගේ පවුල අම්පාර ප්‍රදේශයෙන් හිටි හැටියේ සංක්‍රමණය වුනේ එල්.ටී.ටී ඊ පාලන ප්‍රදේශයක් වු මඩකලපුව ප්‍රදේශයයටය. වසර ගණනාවක් එහි ජීවත් වුනා.
හිටි හැටියේ එක දවසක් මේ හමුදා නිලධාරියා ලඟින්ම ඇසුරු කරපු රියදුරෙක් අම්පාර ප්‍රදේශයේ බුද්ධී අංශයේ පොලිසියේ නිලධාරියෙකුට අහම්බෙන් හමු වුනා. බුද්ධි අංශ නිලධාරියා වෙස්වලාගෙනයි හිටියේ. අරක්කු වලට කෑදර රියදුරාට හොඳට බොන්න දී කිසියම් තොරතුරක් ලබා ගන්න උවමනාවක් මේ බුද්ධි අංශ නිලධාරියාට උවමනා වෙලා තිබ්බේ.
" මචං..! මේජර් සර්... ඇත්තටම සුනාමියට අහු වෙලා මැරුණාද...බං..."
හොඳට මත් වෙලා පියවි සිහියක් නැතිව හිටපු රියදුරා දුන්නේ මේ වගේ පිලිතුරක්...!
" ඒක රඟපෑමක් බං...සර් යස අගේට දැන් එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයකට වෙලා පවුලත් එක්ක ජීවත් වෙනවා..."
" මොනවා...ඇයි බං සර් ඒ වගේ රඟපෑමක් කලේ.."
" සර්ට...තියෙන හයිකෝට් නඩුවෙන් බේරෙන්න..බං එහෙම කලේ...සුනාමියෙන් මැරුණු ලිස්ට් එකට බොරුවට නම දාලා මරණ සහතිකයක් අරගෙන නඩුවෙන් සර් ගැලවුනා..."
ඔන්න බළලා...මල්ලෙන් එලියට පැන්නා නේද..තව කතාවක් තියෙනවා අහලා නැද්ද. හැමදාම හැංඟි හොරා වෙස් මුහුණු බඳින්න බැහැ කියලා..
බුද්ධි අංශ නිලධාරියා මේ ආකාරයට තමුන්ට ඕනේ කරන හැම තොරතුරක්ම මේ ආකාරයට බිමත්ව සිටි තම රියදුරු මිතුරාගෙන් ලබා ගෙන ඒ සියලුම තොරතුරු පොලිස් මුලස්ථානය වෙත ලබා දුන්නා. මේ මෙහෙයුම කොච්චර සාර්ථකද කියනවා නම් වෙස් වලාගත් පොලිස් කණ්ඩායම ක් එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයට ඇතුලු වී අදාල හමුදා නිලධාරියා අත් අඩංගුවට ගන්න කම් කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. අවසානයේදි ඔහුට සියල්ල වමාරන්න සිදු වුනා. අධිකරණයේ විභාග වන නඩුවකදි මේ ආකාරයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර කරුණු වසං කරමින් අධිකරණය නොමඟ යැවීම බරපතළ කාරණාවක්. මේ හේතුව නිසා ගම්පහ මහාධිකරණය විසින් හමුදා නිලධාරියාට නියම කර තිබු ඇප අවලංගු කොට නඩු විභාගය අවසාන වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කලා. තවද ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට අධිකරණය නොමඟ යැවීමට එරෙහිව තවත් චෝදනාවක් සහිත නඩුවක් මහාධිකරණයේ ගොනු කරල ලෙස පොලිසියට උපදෙස් දුන්නා. අවුරුදු 9 ක් රිමාන්ඩ් එකේ ඉන්න වුනා. මහාධිකරණයේ විනිසුරුවරුන් කෙටි කාලයක් තුල මාරු වෙන නිසා නඩු විභාගයේ අවසානයක් පෙනෙන්නට තිබුනෙත් නැහැ. රිමාන්ඩ් එකට ආවාට පස්සේ හමුදා නිලධාරියාගේ බිරිඳ දරුවන් සමඟින් වෙන සැමියෙක් එක්ක ජිවත් වුනා.හමුදා නිලධාරියා අන්තිමේදී තනි වුනා හිරගෙදරදි. කිසි කෙනෙක් බලන්න ආවේ නැහැ. දරුවන්ටත් එපා වුනා. මෙහෙම ඉන්න ගමන් ඒ ගැනම කල්පනා කරලා මානසික පීඩනය වැඩි වෙලා හමුදා නිලධාරියාට අංශ භාහය හැදුනා.පැත්තක් පණ නැතුව ගියා. සෑහෙන්න දුක් වින්දා රිමාන්ඩ් එක ඇතුලේ. පිහිටට උදව්වලට හිටියේ රිමාන්ඩ් එකේ අය විතරයි. මෙහෙම කාලයක් ඉන්නකොට මොහුගේ උදරයේ පිලිකා වැනි රෝගී තත්ත්වයක් හට ගෙන ඇති බව වෛද්‍යවරුන් විසින් සොයා ගත්තා.පිලිකාවක් වගේ ලෙඩක රෝග ලක්ෂණ මතු වෙනකොට ඒ ලෙඩේ ගොඩාක් ඔඩු දුවලා ඉවරයි. මහරගම පිලිකා රෝහලට ඇතුලත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර භීෂණ සමයේ වධකාගාරයේ මෙහෙයුම් නිලධාරියා වශයෙන් කටයුතු කල මේ කතාවේ කතා නායකයා මේ වර්ෂයේ මැද භාගයේදි ජිවීතයෙන් සදහටම සමු ගත්තා.
" යුද්ධය හා රට දැය වෙනුවෙන් හැම දෙයකක්ම කැප කරපු මට මේ වගේ කරුම සහගත ලෙඩක් හැදුනේ ඇයි කියලා හිතා ගන්න බැහැ...ඉහල දේශපාලන නායකත්වය දුන්න නියෝග නිසායි...අපිට කැරැල්ල මර්ධනය කරන්න සිදු වුනේ.."
මරණ මංචකයේදි ඔහුගේ මුවින් නිකුත් වුන අවසාන වචන පෙල මෙයයි.
කතාවක් තියෙනවා අහලා නැද්ද ..කෙනෙක් තමන්ගේ බල පුලුවන්කාරකම් පෙන්වලා රජයේ නීතියෙන් බේරුනත් ඔහුට දේව නීතීයෙන් බෙරෙන්න බැහැ කියලා..තමුන් කල කර්මයන් මේ ආත්මයම පඬිසන් දෙනවා..මැරුණාම අමුතුවෙන් අපායවල් ඕනේ නැහැ...ඒ හැම අපායක්ම වගේම දෙව්ලොවක්ම ඇත්තේ අපි ජීවත් මේ මනු ලොව තුලයි...!
Friday, December 7, 2018
පඹයෙක් තනා හිරෙන් වාෂ්ප වු සරණපාල
පොලිසියෙන් බේරෙන්න බැරි වුනා අන්තිමේදි නඩු වැලක් දැම්මා..ඔහු කරපු හොරකම් වලට අමතරව හොරෙකු හොයා ගන්න බැරුව හිටියේ අනුන්ගේ නඩුත් සරණපාලට දැම්මා...ඔක්කෝම හොරකම් නඩු 50 ක් විතර වැටුනා..පුදපි යකා කිව්වලු නේද..අන්තිමේදී සරණපාල රිමාන්ඩ් වෙන්න වුනා..නඩු 50 කට ඇප තියනවා කියන ඒක ලේසි වැඩක් නොවෙයිනේ..
දැන් ඉතින් සරණපාලට හිරෙන් පැනලා යන්න ඕනේ කරන දිනය උදා වුනා..ඒත් පොඩි ගැටලුවක් වුනා හිරගෙදර ගාඩ් මහත්තුරු පාන්දර 1 ට ඩියුටි මාරු වෙනවා..ඒ ඩියුටි භාර ගන්න නිලධාරීන් තමුන්ට අයිති සිරමැදිරි තුල ඉන්න සිරකරුවන් ටෝච් ගහලා ගණන් කරලා භාර ගන්න ක්‍රමයක් තිබුනා...සරණපාලට ඒකත් කල්පනා වුනා...ඒ නිසාම ඔහු රෑ 12 ට විතර හිරගෙදරින් එලියට පැනලා යන්න හිතා ගත්තා..පාන්දර 1 ට ඩියුටි භාර ගාඩ් මහත්තුරුන්ටගේ ඇස්වලට වැලි ගසා ඔවුන්ටත් නොදැනෙන්න සිර කූඩුවෙන් එලියට පනින්න ඔහු සැලසුම් දියත් කරා.. ඔහු ඒ වෙනුවෙන් කරේ තමුන්ගේ සිරමැදිරිය තුල කොට්ට් 2 ක් දුරින් එලා එය බෙඩ් ෂීට් එකකින් වසා පඹයෙක් සැදුවා..කලුවරේ තියෙන සිරමැදිරිය තුලට ටෝච් එක ගහලා බැලුවොත් බැලු බැල්මට පෙනෙන්නේ හිස සිට දෙපතුල බෙඩ් ෂීට් එකකින් වසාගෙන බිම නිදියගෙන ඉන්න සිරකරුවෙකු විදිහටයි..අන්තිමේදී හිරකූඩුවේ පඹයෙක් ඉතිරි කරලා සරණපාල බිත්තියේ සිදුරින් එලියට ඇවිත් ඒ සිදුර ආපහු අර පාන් බදාමයෙන් වසා බෙඩ් ෂීට් එකෙන් හදාගත්ත ලණුවක් උපයෝගි කරගෙන හිරගෙදර උසම උස තාප්පයෙන් පැනලා ගොස් තමුන්ගේ නිදහස සොයා යන්නට උත්සාහ කරනවා.. ඔහුට ඒ හැර වෙන කරන්න දෙයක් හිරහෙදර තුල ඉතිරි වෙලා තිබුනෙත් නැහැ...මේ සිදූවීම 1980 දශකයේ වගේ කාලේ වෙච්ච සිදූවිමක්..දැන් නම් හිරගෙදර බිත්තිවල පිටතින් ස්වයංක්‍රීය ගිනි අවි සහිත නිලාධාරිගේ මුර අට්ටාල තිබෙනවා..ඒ කාලේ ලොකු ආරක්ෂාවක් පිටින් තිබිලත් නැහැ...
තව පාරක් සරණපාල වාරියපොල උසාවි ගෙනෙකොට හිරගෙදර කුස්ස්සියන් හොරෙන් ගත්ත මිරිස් කුඩු අරගෙන ගිහින් ජේලර් මහත්තුරුන්ට ගහලා උසාවියෙන් පැනල යනවා..තව පාරක් හිරගේ ඇතුලට එන දර ලොරියක් අස්සෙ සරණපාල හැංගිලා එලියට පැන ගන්නවා..මේ විදිහට අවස්තා 4 කදි හිරේ පැනලා ගිය සරණපාලට කවදාවත් එලියේ නිදහසක් හොයා ගන්න බැරි වුනා..පැනලා ගිහින් මාස 2-3 කට පසු ඔහු හොරකමේ ගිහින් පොලිස් අත් අඩංගුවට පත් වුනා..අනේ මන්දා පුදුම ජීවීතයක් නේද...? දැන් හිරගෙදරටම සරණපාල වයසට ගිහින් ඔහුගේ වයස අවුරුදු 65 ක් වෙනවා ඇවිදින්නෙත් බොහොම අමාරුවෙන්..ඔහුව දකින කවුරුත් ආමාන්ත්‍රණය කරන්නේ " පඹයා " ලෙසටය. ඔහු ඒ කාලේ සිදු කරන ලද වීර වික්‍රමාන්විත ගැන කවුරුත් උජාරුවෙන් කතා කරයි. ඔහුද ඒවා දෙස දත් විරිත්තාගෙන බලා සිටින්නේ අහිංසක ලීලාවෙනි.ඒ කාලේ තිබු ඔහුගේ ශක්තිමත් සිරුර දැන් වැහැරි ගොස්ය කරනලද හැම දෙයක් ගැන පශ්චත්තාපයට පත් වෙයි..සිරගෙදර පැවැත්වෙන හැම භාවනා හා ධර්ම දේශනා වැටසටහනකටම ඔහු අනිවාර්යයෙන්ම සහභාගී වෙයි..
හයිබ්‍රිඩ් කාර් එකෙන් බැසගත් හොරා...!
අද මට ලියන්න හිතුනා ලංකාවේ බන්ධනා
-ගාරයක සිටින සුපිරිම හොරෙක් ගැන ලියන්න. මේ පුද්ගලයා හොරකමේ යන්නේ හයිබ්‍රිඩ් කාර් එකකින් හොඳට ඇඳ පැළඳගෙනයි. කෙනෙකුට හිතන්න පුලුවන්ද..? හයිබ්‍රිඩ් එකකින් ගිගින් හොරකම් කරනවා කියලා. හොඳට කිට මරලා නියම ජෙන්ටල්මන් කෙනෙක් වගේ වැඩේට බහින්නේ. මේ හයිබ්‍රිඩ් කාර් එකත් දවසේ කුළියට රෙන්ටල් කාර් සර්විස් එකකින් හයර් කරන එකක්. මේ හොරාට හොරකමේ යෑමට උදව් කරන තව ගෝලයෙක් හිටියා. මේ ඩබල කාර් එකේ ගිහින් තමයි හොරකම් කරන්නේ. මේ හොරුන් දෙන්නා දවල්ට කරන්නේ යමක් කමක් තියෙන ලොකු සල්ලිකාර ගෙවල් ගැන ඔත්තු බලලා තොරතුරු රැස් කර ගන්නවා. විශේෂයෙන්ම සී.සී.ටී.වි කැමරා හා ආරක්ෂාවට බල්ලන් ඇති කරන ගෙවල් ගැන හොයලා බලනවා. විශේෂයෙන්ම ,මාරවිල වෙන්නප්පුව , කටුනේරිය වගේ ප්‍රදේශවල ඉතාලියේ විදේශගත වෙලා ඉන්න අයගේ නිවාස තමයි මේ හොරුන්ගේ ඉලක්ක බවට පත් වුනා. එහෙම නැතිනම් කුරුඳුවත්ත පැත්තේ කෝටිපති ව්‍යාපාරිකයන්ගේ නිවාස. මොවුන්ගේ ඇති විශේෂත්වය තමයි හොරකම් කරන්නේ රත්තරං හා මුදල් පමණයි. ඕනෑම නිවසකට සූක්ෂ්ම ලෙස කිසිවෙකුටත් නොදැනෙන්නට ඇතුළු වී කිසිඳු සාක්ෂියක් ඉතුරු නොකර නිවාස තුළ පිහිටි රත්තරං බඩු හා මුදල් සොරකම් කිරීමයි.හොරකමේ යන විට රැගෙන යන්නේ පුංචි ඉස්කුරුප්පු නියනක් පමණයි.
හොරකම් කරපු රත්තරං ටික ආපහු පොලිසියට දෙන්නයි දෙකක් කරන්න බැහැනේ ..ඒ නිසා අපිට හිරේ යන එක දාහකින් සම්පතයි..අපේ ගෙවල්වල උන් කාලා බීලා හොඳට ඉන්නවා...ඒක අපිට ඇති...ගොඩාක් අය හිතාගෙන ඉන්නේ..ගෙදර බල්ලෙක් ඇති කරාම ඌ ගෙදර ආරක්ෂාව කරාවි කියලා..දැන් ඉන්න බල්ලෝ රෑට කාලා හොඳට සැප සනීපෙට නිදියන නිසා දැන් හොරුන්ට බය වෙන්න දෙයක් නැහැ..හොරු හැටියට අපි ගොඩාක්ම දියුණුයි නවීන තාක්ෂණයට වඩා...ඒකයි අපි මෙච්චර හොරකම් ප්‍රමාණයක් අහු නොවෙන්න මෙච්චර කල් කලේ..ඒත් දැන් තමයි ඒවායේ ප්‍රතිඵල විඳවන්නේ..."
ඉස්සර චණ්ඩි සහ හිරෙත් රඟන අද චණ්ඩි...!
ඔය කියන පාතාල සාමාජිකයන් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරි තුල ජීවීකාව ගත කරන ආකාරය ගැන ඇහුවොත් ඔබ වෙලාවකට පුදුම වේවි. තමුන්ට අවශ්‍ය කරන කෑම බීම පවා බන්ධනාගාරය තුලට තම නෑදෑ හිතමිත්‍රාදින් ලවා ගෙන්වා ගන්නේ විමසිලිමත් බවකිනි.එලෙස ගෙන්වන කෑම අඩංගු භාජන පවා ඉබි යතුරු දමා වසා බන්ධනාගාරය තුලට ගෙන එයි. ඒ ආහාරවලට වස විස එකතු කර ඇතැයි බියෙන් එම ආහාරවල මුල් කොටස් පූසන් වැනි සතුන්ට පලමුව කන්න දී ටික වෙලාවකට පසු දකින්නට ලැබෙන නිරීක්ෂණ අනුව එම ආහාර වෙලා තමුන්ගේ පරිභෝජනය සදහා සුදුසු යයි තීරණය කරයි.අනුන් දෙන කෑම බීමක් පවා ආහාරයට ගැනිමට ඔවුන් මැලි වෙයි. විශේෂ සිරමැදිරි තුල ව්‍යායාම හා අව්ව තැපීමට ලැබෙන්නේ දිනකට විනාඩි 45 ක් වැනි කාලයක් ය. දවසේ ඉතුරු කාලසීමාව අදාල සිරමැදිරි තුලටම වී ඔවුනට ඉන්නට සිදු වේ. පුදුම ජීවීතයක් නේද...? උසාවි යන්නේ එස්.ටී.එෆ් ආරක්ෂාව සමඟිනි. දකින අයට ගෙන එන්නේ අමුතු මොරාල් එකකි. පාරේ වාහන හසුරුවා ඇමතිවරයෙකු පාරේ ගමන් ගන්නා ආකාරයේ විශේෂ ආරාක්ෂාවක් මේ අපරාධකරුවන් ලබයි. මොවුන් මෙතැනින්ද නොනැවතෙයි. බන්ධනාගාරය තුල සිට ජංගම දුරකථන මඟින් අපරාධ මෙහෙයවයි.
කෝටිපති ව්‍යාපාරිකයන් බිය කර කප්පම් ගනියි. ඇතැම් විට බන්ධනාගාරය තුල සිට මත්කුඩු ජාවාරම් පවා ජයටම කරගෙන යයි.බන්ධනාගාරය තුල සිට සිදු කරන කප්පම් හා මත්කුඩු ජාවාරම් සඳහා මුදල් එක් රැස් කරන්නේ ඊ.සී කෑෂ් ක්‍රමයටය.මේ මුදල් මාරු කිරීම සඳහා ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ද අදාල අපරාධකරුවන්ට ආධාර අනුබල සපයයි.
බන්ධනාගාරය තුල සිටින මෙම අපරාධකරුවන් සමහර වෙලාවට එලියේ වාතාවරණය හොඳ නැති අවස්තාවලදි බන්ධනාගාරයේ බිත්තර හතර තමුන්ගේ ජිව්ත ආරක්ෂාව සඳහ යොදා ගන්නා අවස්තා එමට දැකිය හැකිය. තමුන්ට ඇප නියම වුවත් එම ඇප නොතබා බන්ධනාගාරය තුලට වී සිටින්නේ තමුන්ට එලියෙදි සපයා ගත නොහැකි ආරාක්ෂාවක් බන්ධනාගාරය තුලදි සැපයෙන නිසාය. නියම චණ්ඩින් ජීවත් වෙලා ඇත්තේ ඈත අතිතයේය. මුහුණට මුහුණ සටන් කිරීම මඟින් සිය ප්‍රතිවාදීයා බිම හෙළා තම ජයග්‍රහණය සමරයි. වර්තමානයේ තම ප්‍රතිවාදියා විනාශ කිරීමට යොදා ගන්නේ කොහේ සිට හෝ සැඟවි සිට එල්ල කරන වෙඩි පහරක් හෝ බෝම්බ පහරකි. වර්තමානයේ ඉන්නා පාතලයේ චණ්ඩින්ගේ නියම ස්වරූපය මෙයින් ඔබට අවබෝධ කර ගත හැකි වේ. ඔබ ඈත අතිතයේ ජීවත් වු කෑරගල චීනා නැමැති පුද්ගලයා ගැන මෙයට පෙර මේ තොරතුරු අසා ඇත්දැයි මම නොදනිමි. චීනාගේ විශේෂත්වය වුයේ හිරගෙදර තාප්පයට බිම සිට බල්ටි ගැසිමේ හැකියාවයි. එහෙත් කෑරගල චීනා කවදාවත් හිරෙන් පෑන ගියේද නැත. ඔහු බන්ධනාගාරයේ ගාඩ් මහත්තුරු බය කිරීමට මේ ක්‍රියාව දිගින් දිගටම කරගෙන ගිය බව ප්‍රකට කරුණකි. විසිල් ගසා බන්ධනාගාරයේ තාප්පයට ගොඩ වන චීනා නිලධාරීන්ගේ පෙරැත්ත මත ආපහු බිමට කරණම් ගැසිමට රුසියෙකි. අවසානයේ මහර බන්ධනාගාරයේ කෑරගල චීනා රඳවා තැබිම සඳහා හිරගෙයක් ඇතුලේ තවත් පුංචි හිරගෙයක් සැදීමට සිදු වු බව කොයි කවුරුත් දන්නා රහසකි. එම ආරාක්ෂිත කොටස වර්තමානයේදි පවා "චිනය " යන නමින් හැදින්වේ. මේ පුංචි කතාව ඔබට කිව්වේ ඉස්සර හිටපු චණ්ඩි හා දැන් ඉන්න චණ්ඩි අතර වෙනස ඔබට පැහැදිලි කිරීමටය.
තවත් සිපිරිගෙයි කතාවකින් යලි හමු වෙමු...!
