Friday, December 7, 2018

ඉස්සර චණ්ඩි සහ හිරෙත් රඟන අද චණ්ඩි...!




අද කාලේ පාතාලය හිස  එසවීම  සමාජයේ අපරාධ රැල්ල වැඩි වීමට හේතුවක් බව කොයි කවුරුත් දන්නා කරුණකි. මේ සියලුම පාතාලයට සම්බන්ධ අපරාධකරුවන් අවසානයේ කොටු වන්නේ හිරගෙදර බිත්ති හතර තුලය. ඇත්තටම මොන චණ්ඩි වුනත් හිරගෙදර රිමාන්ඩ් එකට ආවාට පස්සේ ඉන්නේ පුදුම බයකිනි. බන්ධනාගාරය තුලට එන්නේ උසාවියෙන් විශේෂ ආරක්ෂාවක් ඉල්ලාගෙනය.  ඒ සඳහා වැය වන්නේ නීතිඥයෙකුට ගාස්තු ගෙවා බන්ධනාගාරය තුල තමුන්ට ප්‍රතිවාදින්ගේ තර්ජන ඇති බව  අධිකරණයට පවසමින් බන්ධනාගාරය තුල මෙන්ම උසාවි යෑමේදි විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටීමයි.  කෙනෙකුට හිතෙන්න පුලුවන් මෙච්චර චණ්ඩි පාට් දමන අය හිරගෙදර බිත්ති 4 ක් ඇතුලේ මෙච්චර බය වෙන්නේ ඇයි කියාය.  බන්ධනාගාරයක් තුල විශේෂ ආරාක්ෂාවක් සහිතව රැඳවීමේදි විශේෂ ආරාක්ෂාවක් සහිත සිරමැදිරි තුල වසා දැමීමට සිදු වේ.ඒවායේ ඉන්න අනෙකුත් සිරකරුවන්ගේ පැටිකිරිය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට බන්ධනාගාර බලධාරීන්ට සිදු වේ. සමහර විට උසාවි කරා ගෙන යාමේදි තම ප්‍රතිවාදින් සමඟ එකම බන්ධනාගාර බස් රථයේ ගෙනයාමට පවා සිදු වේ.එසේ නැතිනම් වෙනම එස්.ටී.එෆ් ආරාක්ෂාවක් සහිතව පරිවාර බැකප් රථයකින් ආරාක්ෂාවක් සලසා දීමට සිදු වේ. මේ නිසාම කෙනෙකුට හිතන්න පුලුවන් දරුණු ගණයේ අපරාධකරුවන්ට මෙච්චර ආරාක්ෂාවක් ලබා දීමට මහජන මූදල් නාස්ති කරන්නේ ඇයි කියාය. මොවුන් මේ අයුරින් ආරක්ෂා කිරීමෙන් සමාජයට සිදු වන සෙත මොකක්ද කියලා තවත් කෙනෙකුට සිතෙන්නට පුලුවන්‍ ය.

ඔය කියන පාතාල සාමාජිකයන් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරි තුල ජීවීකාව ගත කරන ආකාරය ගැන ඇහුවොත් ඔබ වෙලාවකට පුදුම වේවි. තමුන්ට අවශ්‍ය කරන කෑම බීම පවා බන්ධනාගාරය තුලට තම නෑදෑ හිතමිත්‍රාදින් ලවා ගෙන්වා ගන්නේ විමසිලිමත් බවකිනි.එලෙස ගෙන්වන කෑම අඩංගු භාජන පවා ඉබි යතුරු දමා  වසා බන්ධනාගාරය  තුලට ගෙන එයි. ඒ ආහාරවලට වස විස එකතු කර ඇතැයි බියෙන් එම ආහාරවල මුල් කොටස් පූසන් වැනි සතුන්ට පලමුව කන්න දී ටික වෙලාවකට පසු දකින්නට ලැබෙන නිරීක්ෂණ අනුව එම ආහාර වෙලා තමුන්ගේ පරිභෝජනය සදහා සුදුසු යයි තීරණය කරයි.අනුන් දෙන කෑම බීමක් පවා ආහාරයට ගැනිමට ඔවුන් මැලි වෙයි. විශේෂ සිරමැදිරි තුල ව්‍යායාම හා අව්ව තැපීමට ලැබෙන්නේ දිනකට විනාඩි 45 ක් වැනි කාලයක්‍ ය. දවසේ ඉතුරු කාලසීමාව අදාල සිරමැදිරි තුලටම වී ඔවුනට ඉන්නට සිදු වේ. පුදුම ජීවීතයක් නේද...? උසාවි යන්නේ එස්.ටී.එෆ් ආරක්ෂාව සමඟිනි. දකින අයට ගෙන එන්නේ අමුතු මොරාල් එකකි. පාරේ වාහන හසුරුවා ඇමතිවරයෙකු පාරේ ගමන් ගන්නා ආකාරයේ විශේෂ ආරාක්ෂාවක්  මේ අපරාධකරුවන් ලබයි. මොවුන් මෙතැනින්ද නොනැවතෙයි. බන්ධනාගාරය තුල සිට ජංගම දුරකථන මඟින් අපරාධ මෙහෙයවයි.

කෝටිපති  ව්‍යාපාරිකයන් බිය කර කප්පම් ගනියි. ඇතැම්  විට බන්ධනාගාරය තුල සිට මත්කුඩු ජාවාරම් පවා ජයටම කරගෙන යයි.බන්ධනාගාරය තුල සිට සිදු කරන කප්පම් හා මත්කුඩු ජාවාරම් සඳහා මුදල් එක් රැස් කරන්නේ ඊ.සී කෑෂ් ක්‍රමයටය.මේ මුදල් මාරු කිරීම සඳහා ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ද අදාල අපරාධකරුවන්ට ආධාර අනුබල සපයයි.

බන්ධනාගාරය තුල සිටින මෙම අපරාධකරුවන්  සමහර වෙලාවට  එලියේ වාතාවරණය හොඳ නැති අවස්තාවලදි බන්ධනාගාරයේ බිත්තර හතර තමුන්ගේ ජිව්ත ආරක්ෂාව සඳහ යොදා ගන්නා අවස්තා එමට දැකිය හැකිය. තමුන්ට ඇප නියම වුවත් එම ඇප නොතබා බන්ධනාගාරය තුලට වී සිටින්නේ තමුන්ට එලියෙදි සපයා ගත නොහැකි ආරාක්ෂාවක් බන්ධනාගාරය තුලදි සැපයෙන නිසාය. නියම චණ්ඩින්  ජීවත් වෙලා ඇත්තේ ඈත අතිතයේය. මුහුණට මුහුණ සටන් කිරීම මඟින් සිය ප්‍රතිවාදීයා බිම හෙළා තම ජයග්‍රහණය සමරයි. වර්තමානයේ තම ප්‍රතිවාදියා විනාශ කිරීමට යොදා ගන්නේ කොහේ සිට හෝ සැඟවි සිට එල්ල කරන වෙඩි පහරක් හෝ බෝම්බ පහරකි. වර්තමානයේ ඉන්නා පාතලයේ චණ්ඩින්ගේ නියම ස්වරූපය මෙයින් ඔබට අවබෝධ කර ගත හැකි වේ. ඔබ ඈත අතිතයේ ජීවත් වු කෑරගල චීනා නැමැති පුද්ගලයා ගැන මෙයට පෙර මේ තොරතුරු අසා ඇත්දැයි මම නොදනිමි. චීනාගේ විශේෂත්වය වුයේ හිරගෙදර තාප්පයට බිම සිට බල්ටි ගැසිමේ හැකියාවයි. එහෙත් කෑරගල චීනා කවදාවත් හිරෙන් පෑන ගියේද නැත. ඔහු බන්ධනාගාරයේ ගාඩ් මහත්තුරු බය කිරීමට මේ ක්‍රියාව දිගින් දිගටම කරගෙන ගිය බව  ප්‍රකට කරුණකි. විසිල් ගසා බන්ධනාගාරයේ තාප්පයට ගොඩ වන චීනා නිලධාරීන්ගේ පෙරැත්ත මත ආපහු බිමට කරණම් ගැසිමට රුසියෙකි. අවසානයේ මහර බන්ධනාගාරයේ කෑරගල චීනා රඳවා තැබිම සඳහා හිරගෙයක් ඇතුලේ තවත් පුංචි හිරගෙයක් සැදීමට සිදු වු බව කොයි කවුරුත් දන්නා රහසකි. එම ආරාක්ෂිත කොටස වර්තමානයේදි  පවා "චිනය " යන නමින් හැදින්වේ. මේ පුංචි කතාව ඔබට කිව්වේ ඉස්සර හිටපු චණ්ඩි හා දැන් ඉන්න චණ්ඩි අතර වෙනස ඔබට පැහැදිලි කිරීමටය.

තවත් සිපිරිගෙයි කතාවකින් යලි හමු වෙමු...!

No comments:

Post a Comment