Sunday, June 27, 2021

මනාලියන් සොයා ගිය ගමන්...

 මනාලියන් සොයා ගිය ගමන්...


ඔන්න අපේ අම්මගෙන් බේරෙන්න බැහැ. ඇස් දෙක පියවෙන්න කලින් උබ පිලිවෙලක් වෙයන් කියලා. ලව් 2 ක්ම ඉලව් වෙලා ගිය නිසාත් ප්‍රේම සම්බන්ධතා ගැන  මාත් හිටියේ ලොකු කලකිරීමෙන්. ඒ නිසාම මේ වැඩේ මගේ අම්මට හොයන්න භාර දෙන්න මට හිතුනා. අම්මා මංගල යෝජනා පලවෙන සති අන්තයේ පත්තරවලින් මට ගැලෙපන මනාලියක් හොයන්න උත්සාහ කරා. ඒ බලපු මනාලියෝ බලන්න සති අන්තයේම මට අම්මා එක්ක යන්න වුනා. අපේ මේ මනාලියන් හොයන  ගමන්වලට යොදාගත්තේ අපේ මාමාගේ වෑන් එකයි. ඒක පැදෙව්ව  මමගේ පුතා මංගල ලෙස හඳුන්වන්නම් මේ කතාවට. 


මනාලිය 01


හම්මෝ...ලස්සන පරිසරයක තියෙන ගෙයක් ඒක නම්.සුන්දර වෙල් යායකට  මුහුණලායි මනාලියගේ නිවස පිහිටා තිබෙන්නේ. ඒ ගෑනු ලමයා කොරියාවේ ගිහින් අවුරුදු 5 ක් ඉදලා අපු කෙනෙක් කිව්වා. ඔන්න ඉතින් ගෙදරට ගොඩ වෙලා පවුලේ විස්තර කතා කරා.


ඔන්න ඒ ලමයාගේ තාත්තා ගැන විස්තර ඇහුවා. තාත්තා ඉන්නවා කිව්වට කවුරුත් වැඩි විස්තර කිව්වේ නැහැ තාත්තා ගැන.  ශේප් එකේ ලෙස්සිලා ගියා. කෙල්ලත් නරකම නැහැ. ඔන්න ඉතින් අපි දෙන්නට තනි වෙලා පොඩ්ඩක් කතා කරන්න අවස්තාවක් ලැබුනා. කතාව අතරතුරදි එයා ඇහුවා 


ඔයා  බොනවාද....


ඔව්...පොඩ්ඩක් බොනවා කියලා මං කිව්වා.


මං ඇහුවා ඇයි කියලා..


එයා කිව්වා මං ගොඩාක් බොන අයට ආසා නැහැ කියලා. 


කතාවෙන් පස්සේ අපි කෑම කන්න ඇතුලට ගියා. ටික වේලාකින් එයාගේ පියතුමා කවුරුත් නොසිතු වේලාවක වැනි වැනි ගේ ඇතුලට එනවා. ඒක දැකපු ගෙදර අයගේ මූනු මැලවිලා ගියා. තාත්තටම හොඳටම වැඩියි ගොනා මැදට පැන්නා වගෙයි. ඔන්න දැන් පිස්සු විකාර කියවනවා අපි ඉස්සරහට ඇවිත්  අර මිනිස්සුන්ට ලැජ්ජැවේ බැහැ. පව් ඉතින්. 


" ඔය ලමයි කන්න කලින් පොඩ්ඩක් ගන්නවාද...මං ලඟ කොටයක් තියෙනවා


අනේ එපා අංකල් ..දැන්..


තාත්තා ගම කෑවානේ බන්..මංගල හොරෙන් මට කිව්වා. අපේ අම්මගේ මුහුනත් රතු වෙලා ගියා මේක දැකලා.


කූඩැල්ලගේ කතාව මට මතක් වුනා. බේබදු තාත්තලා නිසා මේ වගේ දුවලා කොච්චර අසරණ වෙනවා ඇතිද. තැනක් නොතැනක් නැහැ බොන්න ගියහම. මෙහෙම තාත්තාලත් ලංකාවේ ඕනේ තරම් ඉන්නවාඒ කියලා හිතුනා.


මෙහෙම පවුලකට තම පුතාව දෙන්න මොන අම්මා කෙනෙක් කැමති වෙයිද..??


මානාලිය 02 


ඔන්න තවත් සති අන්තයක අම්මයි..මායි 

මංගලයි හොරණ ප්‍රදේශයේ මනාලියක් බලන්න ගියා. ඒක නම් ටිකක් පැරණි ගෙයක්. ගෑනු ලමයා දුෂ්කර පලාතක සේවය කරන ගුරුවරියක්. අපිට දවල් කෑමත් ලෑස්ති කරලා තිබ්බා එයාලා


අදනම් දවල් කෑමක් මරු. හැමදාම මගුල් බලන්න ගිහින් කේක් කාලා තේ බීලාම එපා වෙලා බන් මංගල මට ඇහෙන්න කිව්වා. මංගලයා පුදුම බඩජාරියෙක්.


 ඒ ගෙදර  මංගල යෝජනාව ගෙනාවේ අක්කටයි. ලස්සන නංගි කෙනෙක් ඉන්නවා කැම්පස් එකේ  ඒ ගැනු ලමයාට. අක්කා කෙට්ටුයි,කළුයි.  අක්කට වඩා නංගි ගොඩාක්ම ලසන්නයි . 


නංගි බදින්න තියෙනවා හොඳයි කියලා මට හිතුනා. කැම්පස් නම් කොල්ලෙක් ඇති නේ කියලා හිතුනාත්. ඔන්න දැන් අක්කා බලන්න ඇවිත් අපි නංගිට ලයින්.


අක්කා පෙන්නලා නංගීවත් දෙනවා නම්..

හොඳයි කියලා මට හිතුනා. 


මං අක්කා එක්ක කතා කරන්න එලියට ගිය ටිකට අපේ මංගලයා උගේ මොබයිල් නම්බර් එක ටිෂු එකක ලියලා නංගිට දුන්නා කියලා ඌම පස්සේ දවසක මට කිව්වා. 


යකෝ මේ වගේ දුෂ්ටයෝ එක්කද ගෑනු බලන්න යන්නේ කියලා හිතුනා. දුෂ්කර පලාතක සේවය කරන නිසා අම්මා මේ යෝජනාවට  කැමැති වුනේ නැහැ . මගේ හිතටත් ඇල්ලුවේ නැහැ ඒ මඟුල. 


මනාලිය 03 


හොඳ ව්‍යාපාරික පවුලක් ගැන පත්තරේ ලියැවිලා තිබිලා ඒක බලන්න අපි තුන්දෙනා ගියා. 


ඔන්න කඩේකට ගිගින් කේක් ගෙඩියක් ගත්තා. ඒ කඩේ කැෂියර් එකේ හිටපු කලු කොන්ඩේ බොකුටු ගෑනු ලමයෙක්. ඒ කඩෙන් කේක් ගෙඩියක් අරගෙන අර ගෙදරට අපි ගියා. ඒ කඩේ ඇතුල් පැත්තේ තවත් ගෑනු ලමයෙක්ගේ ෆොටෝ එකකට මල් මාලාවක්  දාලා තියෙනවා මං දැක්කා. මේක අපේ අම්මත් දැක්කා. 


අලුතින්ම හදපු ගෙයක්. ගෙට ගෙවැදුනෙත් පෙරේදායි කිව්වා. ඔන්න බුලත් හෙප්පුව අරගෙන මනාමාලි මං ඉස්සරහට එනවා. මටත් පුදුමයි. අර කඩේ කැෂියර් එකේ හිටපු ගෑනු ලමය තමයි මනමාලි. ඔන්න අපි එක්ක කතාවට වැටුනා ගෙදර අය. 


අර හෝටලයේ හිටියෙත් ඔයාමනේ  මං ඇහුවා. 


ඔව් ඔව්..ඒකෙන් ගත්ත කේක් එකනේ ඔයාලා මේ ගෙනත් තියෙන්නේ කිව්වා. 


අර හෝටලයේ එල්ලා තිබු ෆොටෝ  එකේ ඉන්න ගෑනු ලමයාගේ මූන සමානයි මේ ලමයාගේ මුනට.ඒ නිසාම මං ඇහුවා අර හෝටලයේ මල්මාලාවක් දාලා එල්ලලා තිබ්බ ෆොටෝ එක  කාගේද කියලා 


ඒක මගේ අක්කාගේ... එයා බැඳලා බබාලා 2 කුත් ඉන්නවා.. මාස 03 කට කලින් ගිනි තියාගෙන මැරුනා කිව්වා..     ළමයාගේ ඇහෙන් කඳුලුත් ආවා ඒක ඇහුවාම.



මං  එතැනින් එහාට ඒ ගැන අහන්න ගියේ නැහැ. ඒ ගෙදර අය මොනවා හරි හංඟන්නවා වගේ කියලා මටයි අම්මටයි හිතුනා. ටික වේලාවක් ඉදලා පස්සේ අපි දැනුම් දිමක් කරන්නම් කියලා ඒ ගෙදරින් අපි ආවා. 


පස්සේ අම්මාගේ ඉස්කෝලේ උගන්නපු ටීචර් කෙනෙක් ඉන්නවා ඒ අහල පහල. අම්මා එයාගෙන් මේ පවුල ගැන හොයලා බලලා. එතකොට කිව්වලු අර ගෑනු ලමයා අක්කගේ සැමියා එක්ක සම්බන්ධයක් තිබිලා අතටම අහු වෙලා ඒක දරාගන්න බැරුව ගිනි තියාගෙන මැරුනා කියලා. ඒ ගෑනු ලමයාගේ බඩට බබෙක් ඇවිත් ඇබෝෂන් කරලාලු. 


ඇයි මිනිස්සු මේවා හංඟන්නේ. ඇත්ත කිව්වා කියලා කෙනෙක් මේ ලමයාට කැමැති වෙයිද. මං නම් කියන්නේ අර බබාලා දෙන්න එක්ක අර මනුස්සයටම මේ ගෑනු ලමයා බන්ඳලා දුන්න නම් ඉවරයි කියලා. අර බබාලා දෙන්නා තමුන්ගේ එක කුස උපන් අක්කගේනේ. එතකොට හැම ප්‍රශ්නයක්ම විසඳේවි කියලා හිතෙනවා.

 

කාටත් වරදක් කරලා නැති අපිව දෙයියෝ බේරුවා...අම්මාගේ කටින් කියැවුනා. ..


අද කාලේ වෙනත් කෙනෙකුට  අලුතින් ජොබ් හොයන එකයි...කසාද බදින්න මඟුල් හොයන එක තමයි මේ ලෝකේ අමාරුම වැඩේ කිව්වොටත් ඔබ එකඟ වෙනවාද ? 


මේ තුනෙන්ම මටයි අම්මටයි මඟුල් හෙවිල්ලත් එපා වුනා. කෙල්ලෙකුට ලව් කරලා බඳින එක හොඳයි කියලා  මට හිතුනා.


ඔන්න මේ සමූහයට මං ලියපු 26 වැනි කතාවත් අවසන් කරා. ඔබගේ වටිනා අදහස් හා ප්‍රතිචාර  මෙහි සටහන් කරන්න. නැවත හමුවෙමු..


✍️ ©සංකල්ප හේරත්      2021-06-25



 
















2 comments: