Thursday, January 31, 2019

සිර ගත වු සිතුවිලි අකුරු කලෙමි...!



ලෝකයේ තිබෙන මිහිපිට අපායවල් ගැන 4 ක් ඔයාලා මේ වෙනකොටත් අහලා ඇති නේද ?  ඕවා ගැන මගේ පෝස්ට්වලින් ඔයාලා කරුණු මීට කලින් දැනගෙන ඇති ඕනේ තරම්. 
ඇත්තටම හිරගෙයක් කියන්නේ උගතාට විශ්ව විද්‍යාලයක්...
හිඟන්නෙකුට දන්සැලක් වගේ..
පව්කාරයෙකුට අපායක් වගේ... කියන අර්ථකතන ටික හොඳටම ගැලපෙනවා නේද...?
කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ ලෝකේ තියෙන මහා ජරාම තැනක් හිරගෙදර කියලා. කිසි කෙනෙක් මේකට කැමැත්තෙන් එන්න හිතනවාද ? කිසිම වරදක් නැතුව නිකරුනේ සිරගත වෙන අය  කොච්චර ඇද්ද. හිරගෙයක් කියන්නේ අමුතුම උප සංස්කෘතියක් තියෙන සමාජයක් කිව්වොත් ඔබට පිලිගන්න වෙනවා. ඒ මොකද මේකේ ඇතුලේ ඉන්න හැම මනුස්සයෙකුගේම චර්‍යාවන්,හැසිරීම, කතා බහ වගේ දේවල්  සාමාන්‍ය සමාජයට වඩා ගොඩාක්ම වෙනස් ඉතින්..අද හිරගෙදර බාවිතා කරන අමුතුම වර්ගයේ වචන සෙට් එකක් ගැන තොරතුරු හෙලි කරන්නම්. ඒවායේ සරලා තේරුමත් ඉස්සරහින් ලියන්නම්.සමහර වචන කවදාවත් අහලා නැතුව ඇති ඔයාලා.
අච්චුකාරයා = සිර දඬුවම් නියම වු සිරකරු
අච්චු කරනවා= සිර දඬුවම් නියම කරනවා
ජම්පරය = සිර දඬුවම් නියමු සිරකරුවෙකුට ලබා දෙන ඝනකම රෙද්දකින් මැසූ අත් කොට කමිසය හා කොට කලිසම් සහිත kit එක ( මෙය ඇන්ඳ විට් විට පැන දිව යාමට අපහසු වේ )
කොන්ඩම්කාරයා = මරණීය දණ්ඩනයට ලක් වු සිරකරු මේ නමින් හඳුන්වයි. කොටු සරමක් හා අත් දිග කමිසක් මොවුන්ට හිමි වේ. ( ඉංගිරිසියෙන් Condemned Prisoner යන වචනය  මරණිය දන්ඩය නියම වු සිරකරුවන් හැඳින්වීමට භාවිතා කරයි. නූගත් සිරකරුවන් එය විකෲති කර කොන්ඩම්කාරයා යන වචනය භාවිතායට ගෙන ඇතැයි සිතිමි.
කොන්ඩම් දීම = එල්ලුම් ගසට නියම කීරීම
පාටිකාරයා = හිරගෙදර එක් එක් වැඩ අංශ තුල වැඩ කරන සාමාන්‍ය සිරකරු මේ නමින් හඳුන්වයි.
පාටිය = හිරගෙදර තුල තිබෙන එක් එක් වැඩ අංශ මේ නමින් හැදින්වෙයි. තමුන් එලියේ කරපු රැකියාවට ගැලපෙන ඇතැම්  වැඩ අංශ බන්ධනාගාරය තුල පවති.
ලිබර්ටිය = සිර දඬුවම් නියම වු පුද්ගලයන් පිටත සමාජය හා උසාවි වෙත ඉදිරිපත් කිරීමේදි  ජම්පරය වෙනුවට ඔවුන්ට අඳින්නට ලබා දෙන ජාතික ඇඳුමට සමාන  සුදු පාට අත්දිග කමිසය හා සරම මේ නමින් හඳුන්වයි.
ඇස්කොට් උස්සනවා = සිරකරුවන් එක තැනකින් තව තැනකට ගෙන යාමේ ක්‍රියාවලිය මේ නම් වේ. ( මෙහි නියම ඉංග්‍රිසි වචනය Excort හෙවත් ආරක්ෂණය යන්න විකෲති කොට භාවිතා කර තිබේ. )
බත් මඩුව = සිරකරුවන්ට කෑම බෙදන ශාලාව මේ නමින් හඳුන්වයි.
එස්.ඩී = විශේෂ සේවා සිරකරු මේ නම් වේ. ( Special Duty Prisoner යනු ගොඩාක්ම විශ්වාසනීය සිරකරුවන් බන්ධනාගාරය තුල කාර්‍යාල හා පරිපාලන කටයුතු වලට දායක කර ගනී
මොවුන්ට වෙනම බැජ් එකක් එකක් හිමි වේ)
බෝඩරය =එක් එක සිරකරුවන්ට වාට්ටුවක් තුල ලබා දෙන වෙනම වෙන් කරපු ස්තානය මේ නමින් හැදින්වෙයි. දිග ශාලාවක Coloums කොන්ක්‍රිට් කණු දෙකක් අතර කොටස බෝඩරය ලෙස් හදුන්වයි. ඒ අනුව පිලිවෙලින් 1 වන බෝඩරය , 2 වන බෝඩරය, 3,4,5,6,7,8....ආදි වශයෙන් එම ස්තාන එකිනෙකා අතරේ බෙදා දෙයි. ඔවුන් බිම නිදා ගැනීම කල යුත්තේ අදාල බෝඩරයට අයිති සිමාව තුලය.
මනිය = බන්ධනාගාරය තුල සිරකරුවන්ට වෙලාව දැනුම් දීම සඳහා භාවිතා කරන ටකය වැනි උපකරය මේ නම් වේ.
මේ කරුණු කාරණා කොහෙන්වත් කොපි කරපු ඒවා නොවන බව සලකන්න. මගේම පුද්ගලික අදහස් බව සලකන්න .හිරේ ගිය අය ඉන්නවා නම් මේවා ගැන මතක් වේවි. මේ ලිපි මාලාව ඉස්සරහට ගෙනියනවා ඔයාලා වෙනුවෙන් .මේකයි අපි මොන දේ ලිව්වත් මේ කරුණු සමහර අයට රස වෙන්නත්...තවත් අයට වස වෙන්නත් පුලුවන්. මිනිස්සුන්ගේ චිත්ත චෛතසික ස්වභාවය අපිට වෙනස් කරන්න බැහැ නේ.
නැවත හමු වෙමු....!
@සංකල්ප හේරත්

No comments:

Post a Comment