Saturday, December 8, 2018

දෙවරක් මිය ගිය වධකාගාර ප්‍රධානියා..!

මේ සත්‍ය සිදූවීම් සහිත කතාව අද ඔයාලා වෙනුවෙන් අකුරු කරන්න හිතුනා. මේ සිදූවීමට සම්බන්ධ කතානායකයා 1980 දශකයේ භීෂණ සමයේ ලංකාවේ ප්‍රසිද්ධ වධකාගාරයක මෙහෙයුම් බාරව හිටපු මුස්ලිම් ජාතික හමුදා නිලධාරියෙක්. භීෂණ සමය ගැන ඔයලාට අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ නේ.ඒ කාලේ වෙච්චි සිදුවිම් ගැන. ලංකාව පුරාම ටයර් සෑයවල් දකින්නට ලැබුනු යුගයක්. පැවති රජයට එරෙහිව කැරලි ගහපු අය වගේම අහිංසක මිනිස්සුන්ගේත්  ඉරණම විසදුනේ මේ ටයර් සෑයෙනි. සමහර අය තමන්ගේ තරහාකාරයොත් බොරුවට ආරක්ෂක අංශවලට පාවා දුන්නා. පාසල් වයසේ ඉන්නේ අහිංසක තරුණ අයත් මේ ආකාරයට පැහැර ගෙන ගොස්  මරා දැමුවා. මේ ආකාරයට සිදු වු පැහැර ගැනීම් වලට නායකත්වය ලබා දුන්නේ මේ හමුදා නිලධාරියා විසිනි. පැවැති රජය පරාජයට පත් වෙලා චන්ද්‍රිකා මැතිනියගේ රජයක් බලයට පත්  වුනා.බලයට පත්වු නව රජය විසින් පසුගිය කාලයේ අතුරුදන් වීම් පිලිබඳ හොයන්න ගත්තා.ඔයාටල මතක ඇති සූරියකන්දේ මිනි වලවල් ගොඩ දැම්මා. ඒ වගේම අතුරුදන් වුවන් පිලිබඳ සෙවීමට ජනාධිපති කොමිෂන් සභා පත් කරා. අතුරුදන් කිරීම් හා පැහැර ගැනීම් වලට අදාල ඇසින් දුටු සාක්ෂි තියෙන හමුදා හා පොලිස් නිල්ධාරීන්ට ඒරෙහිව අපරාධමය චෝදනා ගොනු කරා ඒ කාලයේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටි චන්ද්‍රිකා රජය විසින්. අදාල ජනාධිපති කොමිෂන් සභාව විසින් ඉහතින් සඳහන් කල හමුදා නිලධාරියාට එරෙහිව අවුරුදු  18 ක පාසැල් සිසුවෙකු  ගම්පහ  ප්‍රදේශයේදි තම දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට එරෙහිව චෝදනාවක් ගොනු කලා.

නඩුවක් කියන්නේ හරියට අලු යට තියෙන ගිනි පුපුරක් වගේයි. කොයි මොහොතේ උඩට ඒවිද කියලා කියන්න පුලුවන් කමක් නැහැ. කාලයක් නඩුව නිසා වැඩ තහනමට ලක් වෙලා හිටපු හමුදා නිලධාරියා දේශපාලුවන්ගේ ආනුභාවයෙන් නැවැත රැකියාව පිහිටුවා ගත්තා.අඩු වයසින් හමුදා සේවයට බැඳුනු මේ නිලධාරියා අවුරුදු 22 ක සේවා කාලයෙන් පසු තමුන්ගේ වයස අවුරුදු 45 දි වගේ විශ්‍රාම යාමට තීරණය කරා. මේ හමුදා නිලධාරියාට එරෙහිව පැවැති  නඩුවත් අවුරුදු ගාණක් ඇදී ඇදීගොස්  ප්‍රමාණවත් සාක්ෂි තිබීම නිසා ගම්පහ මහාධිකරණයට යොමු වුනා අවසාන තීන්දුව ලබා දීම සඳහා. මහාධිකරණයේ දිගහැරෙන අතුරුදන් කිරීමේ චෝදනාවකට අදාල නඩුවකින් වැරදිකරු වුනොත් හිරේ යන්න වෙන බව මේ හමුදා නිලධාරියා දැනගෙන හිටියා. ඔහෝම ඉන්නකොට ඔයාලට මතක ඇති 2004 අවුරුද්ද ලංකාවට සුනාමියක් ඇවිල්ලා මහා විනාශයක් සිදු වුනා. සුනාමිය එනකොට මේ හමුදා නිලධාරියා හිටියේ අම්පාර ප්‍රදේශයේ. එම ප්‍රදේශයට දැඩි හානියක් සිදු වෙලා ජීවිත හා දේපොල බොහොමයක් මුලුමනින්ම විනාශයට පත් වුනා. මේ හමුදා නිලධාරියාත් සුනාමියට හසු ව මිය ගිය බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් පොලිසියට හා සමාජ සේවා දෙපාර්තමේන්තුවට පැමිණිලි කලා. එම පැමිණිලි පිලිබඳව විභාගයක් පවත්වා අදාල ආයතනය විසින් අවසිනයේදි මේ හමුදා නිලධාරියා සුනාමියට හසුව මිය ගිය බවට මරණ සහතිකයක් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නිකුත් කලා. එම පවුලේ සාමාජිකයන් විසින් අදාල මරණ සහතිකය මහාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මඟින් ඉදිරිපත් කරමින් කියා සිටියේ අදාල නඩුවේ විත්තිකරු සුනාමියට හසු ව මිය ගොස් බැවින් අදාල නඩුවෙ කටයුතු අවසන් කරන ලෙසටය. එම ඉල්ලීම පිලිගත් මහාධිකරණය අදාල හමුදා නිලධාරියාට එරෙහිව පැවැති නඩු විභාගයේ කටයුතු අවසන් කලා.ටික කාලයකට පසු හමුදා නිලධාරියගේ පවුල අම්පාර ප්‍රදේශයෙන් හිටි හැටියේ සංක්‍රමණය වුනේ එල්.ටී.ටී ඊ පාලන ප්‍රදේශයක් වු මඩකලපුව ප්‍රදේශයයටය. වසර ගණනාවක් එහි ජීවත් වුනා.

හිටි හැටියේ එක දවසක් මේ හමුදා නිලධාරියා ලඟින්ම ඇසුරු කරපු රියදුරෙක්  අම්පාර ප්‍රදේශයේ බුද්ධී අංශයේ පොලිසියේ නිලධාරියෙකුට අහම්බෙන් හමු වුනා. බුද්ධි අංශ නිලධාරියා වෙස්වලාගෙනයි හිටියේ. අරක්කු වලට කෑදර රියදුරාට හොඳට බොන්න දී කිසියම් තොරතුරක් ලබා ගන්න උවමනාවක් මේ බුද්ධි අංශ නිලධාරියාට උවමනා වෙලා තිබ්බේ.

" මචං..! මේජර් සර්... ඇත්තටම සුනාමියට  අහු වෙලා මැරුණාද...බං..."

හොඳට මත් වෙලා පියවි සිහියක් නැතිව හිටපු රියදුරා දුන්නේ මේ වගේ පිලිතුරක්...!

" ඒක රඟපෑමක් බං...සර් යස අගේට දැන් එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයකට වෙලා පවුලත් එක්ක ජීවත් වෙනවා..."

" මොනවා...ඇයි බං සර් ඒ වගේ රඟපෑමක් කලේ.."

" සර්ට...තියෙන හයිකෝට් නඩුවෙන් බේරෙන්න..බං එහෙම කලේ...සුනාමියෙන් මැරුණු ලිස්ට් එකට බොරුවට නම  දාලා මරණ සහතිකයක්  අරගෙන නඩුවෙන් සර් ගැලවුනා..."

ඔන්න බළලා...මල්ලෙන් එලියට පැන්නා නේද..තව කතාවක් තියෙනවා අහලා නැද්ද. හැමදාම හැංඟි හොරා වෙස් මුහුණු බඳින්න බැහැ කියලා..

බුද්ධි අංශ නිලධාරියා මේ ආකාරයට තමුන්ට ඕනේ කරන හැම තොරතුරක්ම මේ ආකාරයට බිමත්ව සිටි තම රියදුරු මිතුරාගෙන් ලබා ගෙන ඒ සියලුම තොරතුරු පොලිස් මුලස්ථානය වෙත ලබා දුන්නා. මේ මෙහෙයුම කොච්චර සාර්ථකද කියනවා නම් වෙස් වලාගත් පොලිස් කණ්ඩායම ක් එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයට ඇතුලු වී අදාල හමුදා නිලධාරියා අත් අඩංගුවට ගන්න කම්  කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. අවසානයේදි ඔහුට සියල්ල වමාරන්න සිදු වුනා.  අධිකරණයේ විභාග වන නඩුවකදි මේ ආකාරයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර කරුණු වසං කරමින්  අධිකරණය නොමඟ යැවීම බරපතළ කාරණාවක්. මේ හේතුව නිසා ගම්පහ මහාධිකරණය විසින්  හමුදා නිලධාරියාට  නියම කර තිබු ඇප අවලංගු කොට නඩු විභාගය අවසාන වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කලා. තවද ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට අධිකරණය නොමඟ යැවීමට එරෙහිව තවත් චෝදනාවක් සහිත නඩුවක් මහාධිකරණයේ ගොනු කරල ලෙස පොලිසියට උපදෙස් දුන්නා. අවුරුදු  9 ක් රිමාන්ඩ් එකේ ඉන්න වුනා. මහාධිකරණයේ විනිසුරුවරුන් කෙටි කාලයක් තුල මාරු වෙන නිසා නඩු විභාගයේ අවසානයක් පෙනෙන්නට තිබුනෙත් නැහැ. රිමාන්ඩ් එකට ආවාට පස්සේ හමුදා නිලධාරියාගේ බිරිඳ  දරුවන් සමඟින් වෙන සැමියෙක් එක්ක ජිවත් වුනා.හමුදා නිලධාරියා  අන්තිමේදී තනි වුනා හිරගෙදරදි. කිසි කෙනෙක් බලන්න ආවේ නැහැ. දරුවන්ටත් එපා වුනා. මෙහෙම ඉන්න ගමන් ඒ ගැනම කල්පනා කරලා  මානසික පීඩනය වැඩි වෙලා හමුදා නිලධාරියාට  අංශ භාහය හැදුනා.පැත්තක් පණ නැතුව ගියා. සෑහෙන්න දුක් වින්දා රිමාන්ඩ් එක ඇතුලේ. පිහිටට උදව්වලට හිටියේ රිමාන්ඩ් එකේ අය විතරයි. මෙහෙම කාලයක් ඉන්නකොට මොහුගේ උදරයේ පිලිකා වැනි රෝගී තත්ත්වයක් හට ගෙන ඇති බව වෛද්‍යවරුන් විසින් සොයා ගත්තා.පිලිකාවක් වගේ ලෙඩක රෝග ලක්ෂණ මතු වෙනකොට ඒ ලෙඩේ ගොඩාක් ඔඩු දුවලා ඉවරයි. මහරගම පිලිකා රෝහලට ඇතුලත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර භීෂණ සමයේ වධකාගාරයේ මෙහෙයුම් නිලධාරියා වශයෙන් කටයුතු කල මේ කතාවේ කතා නායකයා මේ වර්ෂයේ මැද භාගයේදි ජිවීතයෙන් සදහටම සමු ගත්තා.

" යුද්ධය හා රට දැය වෙනුවෙන් හැම දෙයකක්ම කැප කරපු මට මේ වගේ කරුම සහගත ලෙඩක් හැදුනේ ඇයි කියලා හිතා ගන්න බැහැ...ඉහල දේශපාලන නායකත්වය දුන්න නියෝග නිසායි...අපිට කැරැල්ල මර්ධනය කරන්න සිදු වුනේ.."

මරණ මංචකයේදි ඔහුගේ මුවින් නිකුත් වුන අවසාන වචන පෙල මෙයයි.

කතාවක් තියෙනවා අහලා නැද්ද ..කෙනෙක් තමන්ගේ බල පුලුවන්කාරකම් පෙන්වලා රජයේ නීතියෙන් බේරුනත් ඔහුට දේව නීතීයෙන් බෙරෙන්න බැහැ කියලා..තමුන් කල කර්මයන් මේ ආත්මයම පඬිසන් දෙනවා..මැරුණාම අමුතුවෙන් අපායවල් ඕනේ නැහැ...ඒ හැම අපායක්ම වගේම දෙව්ලොවක්ම ඇත්තේ අපි  ජීවත්  මේ මනු ලොව තුලයි...!

No comments:

Post a Comment